Sunday, July 17, 2011

බස් ගමනක්

මේ ජනවාරි මාසෙ දෙවෙනි සතියෙ දවසක්. මම මහේ හෝටලේ ඉඳලා ගෙදර එන්න හිතන් දවල් දොළහට විතර ගියා බස් හෝල්ට් එකට. කණ්ඩලම කියන්නේ ටිකක් දුෂ්කර පැත්තක්නේ... කොහොම හරි බස් එකක් එන්න තව පැයක් විතර ගියා. මගේ හෝටලේ ඉඳලා දඹුල්ලට එන්නත් විනාඩි හතලිස් පහක් විතර යනවා.



මේ පාර තමයි මම ලoකාවේ ගිහිල්ලා තියෙන ලස්සනම පාර. කණ්ඩලම වැව උඩින් බස් එක යනකොට කොච්චර ලස්සනද කියල ගිහිල්ලම බලන්න ඕනේ. බස් එක සපත්තු පාලම උඩින් යනකොට ගොඩක් ලස්සනයි තමයි. ඒත් ටිකක් අනතුරු සහිතයි. ඒත් දැන් නම් අලුතින් පාලමක් හදනව කියලා ආරන්චී. වෑවල - දඹුල්ල බස් එකේ තමයි මම යන්න ඕනෙ. කණ්ඩලම වැව වාන් දමන දවසට නම් ටිකක් දුර පයින් ඇවිදගෙන ගිහින් කිඹිස්ස කණ්ඩලම බස් එකක, හන්දියට යන්න ඕනෙ.



මේ සපත්තු පාලම පහුකරලා ටික දුරක් යනකොට හම්බ වෙනවා ඉස්කෝලයක්. මේක කණ්ඩලම, දඹුල්ල ඩී. එස්. සේනානායක විද්‍යාලය. මම මේ ඉස්කෝලෙ පහුකරල යනකොට හැමදාම බලන්න අලුත් දෙයක් තියෙනවා. අපි ඉස්කෝලෙ යනකොට අත් නොදැකපු දෙවල්.

එක දවසක් යනකොට පහ වසර වගේ පන්තියක ළමයි රවුමක් විදියට වට වෙලා බිම ඉඳගෙන ඉගෙන ගන්නවා. ගුරුතුමී රවුම මැද. ඔක්කොම ළමයි සහ ගුරුතුමී බිම ඉඳගෙන හිටියෙ. අපිත් පන්ති කාමරෙන් එළියෙ පුටු රවුමට තියාගෙන පාඩම් ඉගෙන ගත්ත තමයි. ඒත් ඒ පොඩි වෙනසකට. මේක පන්ති කාමරයක අඩු පාඩුවක්ද, නැත්තම් වෙනසකටද කියල නම් මම දන්නෙ නැහැ. තව දවසක් ඉස්කොලෙ ළමයි 50ක් විතර එකතු වෙලා කොට්ටම්බා තලනවා. :) සමහර දවසට ළමයි ගස් උඩ. :)



කොහොමින් කොහොමහරි, මම එදා බස් එකේ යද්දි මේ ඉස්කොලෙ පහුකලේ ඉස්කොලෙ ඇරෙන වෙලාවට. දවල් දෙකට විතර ඇති. බස් එක පිරෙන්නම නැග්ගා ඉස්කොලෙ ළමයි. මම ඉඳගෙන හිටිය තැනට ආපු ළමයි ඔක්කොම ටික මගේ උකුල උඩින් තිබ්බ පොත් බෑග් ටික. (අපේ කාලෙට වඩා නම් බෑග් එකේ බර ටිකක් අඩු වෙලා වගේ.)

ටිකෙන් ටික ටිකෙන් ටික මගෙ උකුල උඩ පොත් බෑග් දහයක් විතර. :) ටික දුරක් යනකොට එක එක්කෙනා තමන්ගෙ බෑග් ආයෙත් ඇරලා සල්ලි දුන්නා බස් එකට. :)



තව ටිකකින් මේගොල්ල බෑග් ඇරල ඊව ඇතුලෙ තියෙන කෑම ජාති එලියට අරන් එක එක්කෙනාට බෙදල දීල කන්න පටන් ගත්තා. සෙනග පිරිච්ච බස් එකත් හරි හයියෙන් යනවා. ඒත් මේ අයට ගානක්වත් නැහැ.

එක්කෙනෙක් එලියට ගත්තා පෙර ගෙඩි වගයක්. අනිත් එක්කෙනා මුරුක්කු. :) ඔහොම ඔහොම හැමෝම එක එක කෑම ජාති බෙදාගෙන කන්න පටන් ගත්තා.

පොඩි කාලේ, අපේ ඉස්කෝල් ගාව හිටියා අච්චි කෙනෙක්, පේර, වෙරලු, අච්චාරු විකුණන්න. මෙයාට අපි කිව්වෙ "වෙරලු ආච්චි" කියලා. එයා ගැන නම් වැඩිය විස්තර ඕනේ නැහැ. මොකද ඉතින් නෝන්ඩි වෙන්නේ මමම තමයි. :) :)



ටික වෙලාවකින් ඔක්කොම වගේ ළමයි බස් එකෙන් බැහැලා ගියා. යද්දි ඉස්කෝලෙ හය වසර විතර හිටිය එක ළමයෙක් තව ළමයෙක්ට කියනවා.. මේ... හවස පන්ති එනවා නේද ? මම ගෙදරින් එන්න කලින් ඔයාගෙ අම්මගේ හෑන්ඩ් ෆෝන් එකට රිo කට් එකක් දෙන්නම්. ඔය එතකොට එලියට එන්නකෝ. මතක ඇතුව රoජිත් ස'ර් ගේ ටියුට් ටිකත් අරගේන එන්න.....



මමත් දඹුල්ලට ගිහින් කොළඹ - ත්‍රිකුණාමලය බස් එකක නැගලා කොළඹට ආවා....

Happy Birthday Adithi...

මේ සටහන ආදිතී ගැන. ආදිතී කියන්නෙ වයස අවුරුදු හතරක චූටි බබෙක්. ආදිතී ගෙ මාමා මගේ කැම්පස් එකේ යාලුවෙක්. නම නිකිල්. නිකිල් කුමාර්. නිඛිල්ගේ ගෙදර තියෙන්නේ මගේ මැoගලොර් හොස්ටල් එක ගාවම තමයි. මේක නිසා නිකිල් ගේ ගෙදර අය මාත් එක්ක ගොඩක් හිතවත්.



ආදිතී කියන්නේ ගොඩක් හුරතල් බබෙක්. මෙයා ගොඩක් කතා කරනවා. හැමතිස්සෙම මොකක් හරි කතා කරනවලු. හීනෙනුත් කතා කරනවලු. හැබැයි, ආදිතී ගේ ගෙදර අයට නම් මේක වදයක් වෙලා. මේක නිසා ආදිතී මාත් එක්ක කතා කරන්න ගොඩක් කැමතී.

ආදිතී කියන්නෙ නිර්මාoශ, ඒවගේම භෂා කීපයක් කතා කරන්න පුලුවන් දක්ෂ බබෙක්. මම හින්දියෙන් අමරුවෙන් කතා කරද්දි එයා හයියෙන් හිනා වෙලා මගේ වැරදෙන තැන් හරි ගස්සනවා. ආදිතී බබා ට කණ්නඩා, තුලූ, හින්දි, වගේම ඉoග්‍රීසි භෂාවත් හොඳින් කතා කරන්න පුලුවන්. මෙයා මාත් එක්ක කතා කරන්නේ ඉoග්‍රීසි භෂාවෙන්.



දවසක් ආදිතී, එයාගේ අම්මල නිකිල්ට ආපු මoගල යොජනාවක් ගැන කතා කර කර ඉඳිද්දි, කියනවලු,

“අම්මා.. මමත් නිකිල් මාවා බඳින දවසට මම නදීශව බඳිනවා”. කියල

ආදිතී මගේ අනිත් යාලුවන්ට කියන්නේ මාවා කියල. ඒ කණ්නඩා භෂාවෙන් "Uncle’’ කියන එක. හැබයි මෙයා මට කතා කරන්නේ නදීශ කියලා.



ඔන්න තව දවසක ආදිතීගෙ ගෙදර කෑම උයද්දි, ආදිතී කියනවලු, "අද ඉඳලා මට vegetarian කෑම එපා. මට Nan veg. කෑම උයන්න කියල. මේකට හේතුව අහද්දි කියනවලු "නදීශ කන්නේ Non Veg. කෑම. එක නිසා මමත් non veg කෑම වලට දැන්ම ඉඳලම පුරුදු වෙන්න ඕනෙ’’ කියලා.



මම එයාගෙන් ඇහුවම ලොකු වෙලා වෙන්න කැමති කවුද කියල මෙයා කියනව "I like to be a dermatologist. But if you want, I can be a housewife”



මෙන්න මේ වගේ පිස්සු කතා කියන බබෙක් තමා ආදිතී කියන්නේ.



අදට ආදිතීට වයස අවුරුදු 4යි. මම අද එයාට උපන්දිනයට සුභ පතන්න කතා කරාම කියනවා, ඔයා හරිම නරකයි. මම මුම්බායි ගිහින් හිටිය අතරෙ ඔයා ගෙදර ගියා නේද... අයෙත් එනකොට duty free ශොප් එකෙන් චොකලට් ගේන්න හොඳේ.

(You are too bad. You left Mangalore when I was at Mumbai ha ? Please bring chocolates from duty free shop when you are coming back to Mangalore)



I wish darling baby Adithi, a very happy B’day ! Miss you !!!

ගුවන්තොටේ සිට.........

මහකතරෙ කෙළවරක.

ජීවිතය ගෙනියන්න

පලුදු තැන් ගොතන්නට

වෙරවැරූ යෞවනි....



නැවතුමක් නොමැතිවම

ඉසිඹුවක් නොවිඳමින

රිද්මයක් නොරඳමින

හතිලමින්

ඉකි බිඳු ප්‍රියාවී....



පුoචි පුතු රැකගන්න

ණය බරින් වියැකෙන්න

පාලුවූ ගෙළවටට

රන් දමින් හැඩවන්න

දුක්ක්‍රියා කරන්නී....



පැයක් ඇත ගෙවන්නට

වැලි කතරෙ රැඳෙන්නට

පොඩි පුතුගේ කිරි සුවඳ

ආයෙමත් විඳගන්න

කඳුලු අතරින් වුවද,

සිනහවෙන පින්වතී.....

මo පොඩි කාලේ

මාත් හිතුවා මගේ පොඩි කාලේ ගැන ලියන්න...



දවසක් අපි වීරකැටියේ ගෙදර ඉන්න දවස් වල අපේ ගෙදර කට්ටිය (මට අවුරුදු දෙකක් විතර කාලෙදි ) තoගල්ලේ බොධිය වඳින්න ගිය දවසක ගෙදර අය ගිහින් තියෙනවාමේ බොධිය තියෙන්නේ මුහුදු වෙරළට කිට්ටුව. ඉතින් වැඳලා ඉවරවෙලා, කට්ටිය මුහුදු වෙරළටත් ගිහින්. අපේ තාත්තත් යාලුවො ටිකක් හම්බ වෙලා කතා කර කර ඉන්න අතරේදි, අයියයි මායි ගිහින් තියෙනව රැල්ල පාගන්න අපිව බලාගන්න හිටපු කෙනත් එක්ක. මේ වෙද්දි අපේ අම්මට මල්ලිව හම්බ වෙන්න හිටිය කාලෙලු.

එක පාරටම මාව මුහුදෙ ගහගෙන ගිහින් තියෙනව. ටික දුරක් යද්දි මේක දැකල අපේ අයියට හරිම සතුටු හිතිල අත්පුඩි ගහ ගහ “හොඳවැඩේ, නදීශයව ගහගෙන යනවා.... හොඳවැඩේ" කිය කිය නට නට ඉඳල. මේක දැකපු අනිත් මිනිස්සුත් හිතල තියෙන්නේ මට අවුරුදු දෙකක් කාලෙදිත් හොඳට පීනන්න පුලුවන් කෙනෙක් තමයි කියලලු. මොකද ඉතින් අයියත් උඩ පැන පැන කෑගහනකොට.

මේක දැකපු අම්මට කර ගන්න දෙයක් තිබිල නැහැ, එයා හිටපු තත්ත්වේ හැටියට. අන්තිමට අම්මගෙ කෑගැහිල්ල ඇහුනු තාත්තා තමයි ඉක්මනට වතුරට පැනල මාව බේරගෙන තියෙන්නේ. එද ඉඳලා ගොඩක් දවස් යනකන් මම වතුරට බය වෙලා ඉඳලලු.



මේක අපේ අම්මලාගෙ මහගෙදර ගිය දවසක වෙච්ච සිද්දියක්.මේ වෙද්දි මට වයස අවුරුදු පහක් විතර ඇති. අයියා මට වැඩිය අවුරුදු තුනක් වැඩිමල්, මල්ලි අවුරුදු තුනක් බාලයි. :) මේ ගමන්ම මම අපේ ගම ගැන කියන්නම්කො... අපේ අම්මගේ ගම උඩයාල, වීරකැටියේ ඉඳල තව හැතැප්ම දහයක් විතර ගියාම තමයි හම්බ වෙන්නෙ....... මල්ලි ඇර, අපි ඔක්කොම ඉපදුනෙත් මෙහේ තමයි. තාත්තයි, මමයි, අයියයි තුන්දෙනාම ඉපදිල තියෙන්නෙත් එකම ඉස්පිරිතාලේ .



ඔන්න ඉතින් මෙහේ ගිය දවසක, අපි තුන්දෙනා එකතුවෙලා පොඩි රවුමක් ඇවිදින්න හිතන් ගෙදර පිටිපස්සේ තියෙන වෙලට ගියා. වෙලක් කිව්වට මේක විසාල වෙල්යායක්. වෙල මැද්දෙන් කිලො මීටරයක් විතර ගියාම හම්බ වෙනවා මහ ඔය කියල ගඟක්. අපි තුන්දෙන ඉතින් ඇවිදගෙන ගියා. මේ වෙල ගොඩක් ලොකු නිසා පොඩි පොඩි ඇල පාරවල් හරියට තියෙනවා.

ඉතින් අපිට ඔනෙ උනා මේ ඇල පාරකට බැහැලා බලන්න. අයියයි, මමයි බැහැලා අපි මලිවත් ඇල ඇතුලට ගත්තා. ටික වෙලාවකින් බලද්දි දැක්කා මල්ලිව ගහගෙන යනවා. අපි දෙන්න කොහොම හරි එයාව බේර ගත්තා. දැන් ඔක්කොම ටිකක් බය වෙලා වගේ. මොකද, තුන්දෙනාගෙම ඇඳුම් තෙමිල, මල්ලි මඩ ඌරෙක් වගේ වෙලා. අපි ආයෙත් ගෙදර එන්න පිටත් උනා. මේ අතරේ අපි අයියා කියනව.. "මල්ලි... මේක කාටවත් කියන්න එපා. අපි ගෙදර ගිහින් ඇඳුම් මාරු කරගමු අම්මලාට හොරෙන්" කියල.

මෙහෙම එන අතරේ අපි දුර පාරකින් ගෙදර යන්න හිතාගෙන වෙන පාරකින් ගෙදර කියා. යද්දි ඇලක් දැකලා අපි ඇලෙනුත් එගොඩ වෙලා කොහොමෙන් හරි ගෙදර ආවා.



මම ගෙදර ආපු ගමන්ම ඔක්කොම කියපු දේවල් අමතක උනා. මම අම්ම ලඟට ගිහින් කිව්වා, “හරි වැඩේනෙ අම්මෙ උනේ අද, හැබැයි මට ඒ කතාව කියන්න බැහැ, ලොකු අයියා කියන්න එපා කිව්වා " කියල. අයියා ඒ වෙලාවේ දත් මිටි කකා හිටියේ මම වාර්තාව අම්මට ඉදිරිපත් කරන නිසා.

අපේ අම්මත් කලබල වෙලා, කියන්න මොකක්ද උනේ කියල ඇහුවා. අපි කවුරුවත් කිව්වේ නැහැ. ඊට පස්සෙ අම්ම කියනවා... "මට නදීව විශ්වාසයි. එයා මට මොනව වත් හoගන්නේ නැහැ, එන්න මගෙ රත්තරන් පුතේ, මo ගාවට ඇවිල්ල කියන්න" කියල. මම ඉතින් අපේ අම්මගේ මානසික අල්ලසට රැවටිලා, අයියගේ මූන දිහා බල බලා වෙච්ච දෙවල් ඔක්කොම කිව්වා. මේක අහපු අපේ පොඩි අම්මා (අම්මගේ දෙවෙනි නoගි ) ගොඩක් බය උනේ අන්තිමට එගොඩ උන ඇල ගැන අහල. ඒක නයි පොලොන්ගු විමානයක් ලු. අම්මා පොඩ්ඩක් බැන්නා. ඒත් ගැහුවේ නම් නැහැ.



ඉස්සර අපි තුන්දෙනාට කියා ගත්ත නම් තමයි මේවා......

“රන් ගොවියා - ගොන් රවියා”
“නදීශ නරියා - නරක ළමයා”
“චානක කුලුහරකෙකි, නෑ නෑ නරක ළමයෙකි”...........



අපේ ගෙදරට (කැස්බෑවේ) එහා ගෙදර හිටියා නිපුනි කියල පොඩි ගෑණු ළමයෙක්. ඒ දවස් වල මෙයාට වයස අවුරුදු තුනක් විතර ඇති. අපි මොනව හරි කෑවොත් එයාටත් ඒ දේම කන්න ඕනෙවෙනවා. අපි කට හෙලෙව්වොත් එයා අහනවා. "මොනවද ඔයා කන්නේ... " අනේ මටත් දෙන්නකෝ කියලා. " දවසක් මෙයා අපේ ගෙදර ඇවිල්ල අහනවා "මොනවද ඔය කන්නේ" කියල අපි ඒ වෙලාවේ මොනව හරි කකා කිටියා. අපි එයාට කිව්ව "මේ අපි ඉස්සරහ ගහේ කොච්චි කරල් තමයි කන්නේ" කියල

ටික වෙලාවක් බලද්දි නිපුනි බබා පේන්න හිටියේ නැහැ. ටික වෙලාවකින් අපිට ඇහෙනවා එහා ගෙදර පැත්තෙන් නිපුනි කෑ ගගහ අන්ඩන සද්දේ.... මෙයා අපිටත් නොකියාම ගහෙන් කොච්චි කඩන් ගෙදර ගිහින් කාලා. මේකට නම් හොඳට බැනුම් ටිකක් ඇහුව අම්මගෙන්.



මේකත් අපේ අම්මයි මායි, පොඩි අම්මයි ගමනක් යද්දි වෙච්ච දෙයක්. අපි කොහේ හරි යන්න හිතාගෙන බස් එකකට නගින්න හදද්දි, බස් එක ඉක්මනට යන නිසා අම්ම මට කියල තියෙනවා "බස් එක නැවත්තුව ගමන් ඩොග් ඩොග් ගාල නගින්න" කියලා. මම කරල තියෙන වැඩේ, බස් එක නැවත්තුව ගමන්ම පළවෙනි පඩියට නැගල, දිගටම "ඩොග් ඩොග් ඩොග්" ගගා ඉඳලා.



තව දවසක් අපේ ගෙදර අම්මයි තාත්තයි නැති අතරේ අයියයි මමයි සුපුරුදු පරිදි වලියක් දා ගත්තා. දෙන්නම හොඳට ගුටි කෙළ ගත්තට පස්සෙ මට මල පැනලා, මම දුන්නා හොඳ පාරක් අයියට මිට මොලවලා. අයියා ටිකක් වෙලා මගේ දිහා බලාගෙන ඉඳලා එක පාරටම බිම වැටුනා. මම අයෙත් පයින් පාරක් දුන්නා මොකක්ද මේ නාටකේ කියල බලන්න. සද්දයක් නැහැ. මම නහයට අත තියල බැලුවා හුස්ම ගන්නවද කියල, හුස්ම ගන්නෙත් නැහැ. මට දෙලෝ තරු පෙනුනා. කතා කරල බැලුවත් සද්දයක් නැහැ. මම හිතා ගත්තා අපේ සදාදර ලොකු අයියාට දිවිය ලෝකයට උසස් වීමක් ලැබුනා කියලා .



කරන්න දෙයක් නැහැ, වෙලාව හවස තුනට විතර ඇති. අම්මා ගෙදර එන්නෙත් හතරට විතරනේ. අම්මා ආවට පස්සේ අම්මගෙන් බැනුම් අහන්නත් වෙනවනේ අ‍යියව මැරුව නිසා. ඒක නිසා මම ගියා අපේ ගෙදර පිටිපස්සේ තියෙන ඩිපෝ වත්තට. මේකෙ ලොකු වෙරලු ගහක් තිබ්බා. මම ඒකෙ වෙරලු කඩ කඩා අයියා ගැන හිත හිතා හිටියා. මට ඔක්කොටම වඩා මතක් උනේ අම්ම ඇවිත් මට බනින හැටි, තත්තා ඇවිත් වේවැලෙන් මට ගහන හැටි.

ටික වෙලාවකින් හවස හතරට විතර මැරිල හිටිය අයියයි, අම්මයි ආවා මාව බලන්න ඩිපෝ වත්තට. එදා නම් මට නොන්ඩි සාගරයක්.



මේ ඒවගේ සිද්ධි වලින් ටිකක් විතරයි. මට මේටික ලියන්න හිතුනේ ලෝචනා නoගිගේ ලිපිය දැකලා, ඒ වගේම තමයි, අපි දවසක් මේ වගේ දෙවල් ගැන කතා කලා. :) :) ලියන්න කියල මතක් කල ලෝචනා නoගිට "bahuth shukriya" !!!!