Saturday, March 26, 2011

බස් ගමනක්



මේ ජනවාරි මාසෙ දෙවෙනි සතියෙ දවසක්. මම මහේ හෝටලේ ඉඳලා ගෙදර එන්න හිතන් දවල් දොළහට විතර ගියා බස් හෝල්ට් එකට. කණ්ඩලම කියන්නේ ටිකක් දුෂ්කර පැත්තක්නේ... කොහොම හරි බස් එකක් එන්න තව පැයක් විතර ගියා. මගේ හෝටලේ ඉඳලා දඹුල්ලට එන්නත් විනාඩි හතලිස් පහක් විතර යනවා.



මේ පාර තමයි මම ලoකාවේ ගිහිල්ලා තියෙන ලස්සනම පාර. කණ්ඩලම වැව උඩින් බස් එක යනකොට කොච්චර ලස්සනද කියල ගිහිල්ලම බලන්න ඕනේ. බස් එක සපත්තු පාලම උඩින් යනකොට ගොඩක් ලස්සනයි තමයි. ඒත් ටිකක් අනතුරු සහිතයි. ඒත් දැන් නම් අලුතින් පාලමක් හදනව කියලා ආරන්චී. වෑවල - දඹුල්ල බස් එකේ තමයි මම යන්න ඕනෙ. කණ්ඩලම වැව වාන් දමන දවසට නම් ටිකක් දුර පයින් ඇවිදගෙන ගිහින් කිඹිස්ස කණ්ඩලම බස් එකක, හන්දියට යන්න ඕනෙ.



මේ සපත්තු පාලම පහුකරලා ටික දුරක් යනකොට හම්බ වෙනවා ඉස්කෝලයක්. මේක කණ්ඩලම, දඹුල්ල ඩී. එස්. සේනානායක විද්‍යාලය. මම මේ ඉස්කෝලෙ පහුකරල යනකොට හැමදාම බලන්න අලුත් දෙයක් තියෙනවා. අපි ඉස්කෝලෙ යනකොට අත් නොදැකපු දෙවල්.

එක දවසක් යනකොට පහ වසර වගේ පන්තියක ළමයි රවුමක් විදියට වට වෙලා බිම ඉඳගෙන ඉගෙන ගන්නවා. ගුරුතුමී රවුම මැද. ඔක්කොම ළමයි සහ ගුරුතුමී බිම ඉඳගෙන හිටියෙ. අපිත් පන්ති කාමරෙන් එළියෙ පුටු රවුමට තියාගෙන පාඩම් ඉගෙන ගත්ත තමයි. ඒත් ඒ පොඩි වෙනසකට. මේක පන්ති කාමරයක අඩු පාඩුවක්ද, නැත්තම් වෙනසකටද කියල නම් මම දන්නෙ නැහැ. තව දවසක් ඉස්කොලෙ ළමයි 50ක් විතර එකතු වෙලා කොට්ටම්බා තලනවා. :) සමහර දවසට ළමයි ගස් උඩ. :)



කොහොමින් කොහොමහරි, මම එදා බස් එකේ යද්දි මේ ඉස්කොලෙ පහුකලේ ඉස්කොලෙ ඇරෙන වෙලාවට. දවල් දෙකට විතර ඇති. බස් එක පිරෙන්නම නැග්ගා ඉස්කොලෙ ළමයි. මම ඉඳගෙන හිටිය තැනට ආපු ළමයි ඔක්කොම ටික මගේ උකුල උඩින් තිබ්බ පොත් බෑග් ටික. (අපේ කාලෙට වඩා නම් බෑග් එකේ බර ටිකක් අඩු වෙලා වගේ.)

ටිකෙන් ටික ටිකෙන් ටික මගෙ උකුල උඩ පොත් බෑග් දහයක් විතර. :) ටික දුරක් යනකොට එක එක්කෙනා තමන්ගෙ බෑග් ආයෙත් ඇරලා සල්ලි දුන්නා බස් එකට. :)



තව ටිකකින් මේගොල්ල බෑග් ඇරල ඊව ඇතුලෙ තියෙන කෑම ජාති එලියට අරන් එක එක්කෙනාට බෙදල දීල කන්න පටන් ගත්තා. සෙනග පිරිච්ච බස් එකත් හරි හයියෙන් යනවා. ඒත් මේ අයට ගානක්වත් නැහැ.

එක්කෙනෙක් එලියට ගත්තා පෙර ගෙඩි වගයක්. අනිත් එක්කෙනා මුරුක්කු. :) ඔහොම ඔහොම හැමෝම එක එක කෑම ජාති බෙදාගෙන කන්න පටන් ගත්තා.

පොඩි කාලේ, අපේ ඉස්කෝල් ගාව හිටියා අච්චි කෙනෙක්, පේර, වෙරලු, අච්චාරු විකුණන්න. මෙයාට අපි කිව්වෙ "වෙරලු ආච්චි" කියලා. එයා ගැන නම් වැඩිය විස්තර ඕනේ නැහැ. මොකද ඉතින් නෝන්ඩි වෙන්නේ මමම තමයි. :) :)



ටික වෙලාවකින් ඔක්කොම වගේ ළමයි බස් එකෙන් බැහැලා ගියා. යද්දි ඉස්කෝලෙ හය වසර විතර හිටිය එක ළමයෙක් තව ළමයෙක්ට කියනවා.. මේ... හවස පන්ති එනවා නේද ? මම ගෙදරින් එන්න කලින් ඔයාගෙ අම්මගේ හෑන්ඩ් ෆෝන් එකට රිo කට් එකක් දෙන්නම්. ඔය එතකොට එලියට එන්නකෝ. මතක ඇතුව රoජිත් ස'ර් ගේ ටියුට් ටිකත් අරගේන එන්න.....



මමත් දඹුල්ලට ගිහින් කොළඹ - ත්‍රිකුණාමලය බස් එකක නැගලා කොළඹට ආවා....

No comments:

Post a Comment