
අපි දෙමව්පියො, වැඩිහිටියො දිහා බලන විදිය වයසත් එක්ක වෙනස් වෙනවා කියන එක ලඟදි දවසක් මට කල්පනා කරද්දි ගොඩක්ම හිතුනා.
මම පොඩි කාලෙදි මගේ යලුවෙක් කිව්වා (2 වසරෙදි )
"ඔයාගේ අම්මා නම් හරි නපුරුයි. එයා ඊයෙ මගේ දතක් ගැලෙව්වා. ලේ ගොඩාක් ගැලුවා" කියල.
මම පොඩි කාලෙදි මගේ යාලුවන්ට මගේ අම්ම ගැන තිබ්බෙ ඒ වගේ වැටහීමක්. මේක අම්මාගේ රැකියාව කියලා එයාලට ඒකාලේ තේරෙන්නෙ නැතුව ඇති.
ඒත් මගේ තාත්තා ගැන තිබ්බේ ඊට සම්පූර්ණයෙන්ම ප්රතිවිරුද්ඩ අදහසක්. ඉස්සර තාත්තා මට ටොෆි ගොඩක් දීල කියනව යාලුවොන්ට දෙන්න කියල. ඇත්තටම මේව දෙන්නෙ අම්මා. ඒත් මේව ගෙදරට ගේන්නෙ තාත්තා නිසා මම කියන්නේ තාත්තා දුන්න කියල. ඉතින් ඒ කාලෙ මගේ යාලුවො බලන් ඉන්නේ මම උදේට ඉස්කෝලෙට එනකන්.
දවසක් මම ඉස්කොලේ හවස පන්ති තියෙන දවසක අම්ම ආව මාව ගෙදර එක්ක යන්න. අම්ම ටිකක් කලින් පන්තියට ආවා. මම හතර වසර පන්තියේ ඉන්න කාලේ මගෙ පන්ති භාර ගුරුතුමිය වෙලා හිටියෙ පෙරේරා කියල ටීචර් කෙනෙක්. මේ ටීචර් ටිකක් සැර කෙනෙක්. මේ ටීචර් කොච්චර සැරද කිව්වොත් මුලු දවසම මම භයෙන් සැකෙන් තමයි හිටියෙ. ඒ පන්තියේදි මාත් එක්ක එකට හිටිය යුරේෂා, චාමිකා, සඳුන් වගේ මගේ යාලුවන්ටත් තාම ඒ කාලේ මතක ඇති කියල මම හිතනවා. මගේ වෙලාවටම අම්මා එන වෙලාවේ අපේ ටීචර් මාව තව ළමයි හය හත් දෙනෙක් එක්ක මේසෙ ලඟ තියාගෙන අනුසසනා කරමින් හිට්යේ. අපේ පන්තියට ගොඩක් වෙලාවට එන්නෙ තාත්තා නිසා මේ ටීචර්ට අපේ අම්මව අඳුර ගන්න බැරි උනා. මේක නිසා මේ ටීචර් අම්මව දැක්ක ගමන් වෙන ළමයෙක්ගේ අම්මා කෙනෙක් කියල හිතාගෙන එක හුස්මට කියවගෙන යන්න ගියා හෙන හෑල්ලක් .
"අනේ මිස්, බලන්නකෝ, මෙයාගේ තත්තා ඉස්සර උසස් පෙල ගණිත ගුරුවරයෙක්, දැන් කස්ටම් එකේ. අම්මත් හොඳට ඉගෙන ගෙන තියෙනවා. ඒත් මේ ළමයට චක්කරේ බැහැනේ."
මට දැන් මේ සිද්ඩිය මතක් වෙද්දි දුක හිතෙන්නෙ අම්ම දුන්න උත්තරේට. අම්ම ඒක කිව්වෙත් මට බනිනව අහන් ඉන්න බැරි නිසා බව අද මට තේරෙනවා.
"මිස්............. මම නදීශගේ අම්මා"
මම ලඟදි දවසක් කාමරේ වතුර නතර වෙලා තිබ්බ වෙලාවක, පහළට ගිහින් වතුර පනිට්ටුවක් ගෙනෙද්දි ඒ අමාරුව නිසා මට ඉස්සර අපි තුන් දෙනාගේ පොඩිකාලේ මතක් උනා.
අපේ අම්මයි, තත්තයිදෙන්නම එකතු වෙලා හැම ඉරිදා දවසකම අපේ ගෙදර තිබ්බ ලොකු ටැoකිය හොඳට හොදලා ලිඳෙන් වතුර ඇදලා, ටැoකිය වතුර වලින් පිරෙව්වා. අම්මයි තත්තයි මාරුවෙන් මාරුවට වතුර ඇද්දා. මේ ලිඳත් ගොඩක් ගැඹුරු ලිඳක්. පස්සේ අපිට හිතේ හැටියට නාන්න ඉඩ දුන්නා. ඒ දවස් වල ඉරිදා දවසක් එනකන් ඇඟිලි ගැන ගැන හිටියත්, ඒ ලොකු ටැoකිය පිරෙන්න වතුර ඇදල අම්මටයි, තත්තාටයි කොච්චර අමාරුද කියල අපිට ඒ කාලෙ වැටහීමක් තිබ්බේ නැහැ.
ඉගෙන ගත්ත අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ආච්චි අම්මා කෙනෙක්, නෑදෑයෝ ඉන්න එක වාසනාවක් කියල අද අපිට හිතුනත් ඉස්සසර ඒ ඔක්කොම දැනුනේ වදයක් විදියට. ඉස්කොලේ ගිහින් ඇවිල්ලා, සෙල්ලම් කරලා හවසට පැයක් විතර පොත් එක්ක ඉන්න එක තරම් අමිහිරි දෙයක් තව තියෙන්න නැතුව ඇති.
නමුත්.. අදත් මට සතුටුයි, අපි තුන්දෙනාගෙන් කාටවත් ඉගෙන ගන්න කියලා අනිසි බලපෑමක් තිබ්බෙ නැහැ. විභාග කාලෙට පාඩම් කලේ නැති උනාම අම්මගේ බැනුම් ඇහුව තම්යි, තාත්ත්වය තව ටිකක් දරුනු නම්, තත්තා කැඳවන පවුලේ රැස්වීමට යන්න උනා තමයි, නමුත්.. ඒක තමයි උපරිම දඬුවම. අද මම මගේ උපාඩියේ අන්තිම අවුරුද්දේ ඉන්නකොටත් මගේ තාත්තා මට උගන්නපු දේවල් මම පාවිච්චි කරනවා. මම සූප ශාස්ත්රය ගැන ඉගෙන ගත්ත ආචාර්ය මහාචාර්යවරු යටතේ ඉගෙන ගත්තත්, අම්මා ඒ විෂය ගැන කියල දුන්නු දේවල් ගැන ඒ අය පවා පුදුම වෙනවා.
මගෙන් කවුරු හරි ඇහුවොත් ජීවිතේ හම්බ වෙච්ච හොඳම තෑග්ග මොකක්ද කිව්වොත් මට ආයෙත් කල්පනා කරල බලන්න ඔනෙ කමක් වෙන්නෙ නැහැ. උත්තරේ “මගේ අම්මයි තාත්තයි”.
අද 01/10/2010, අම්මගෙයි, තාත්තගෙයි 29 වෙනි විවාහ සoවස්තරය. මේ සටහන මේ ලෝකෙ ඉන්න හොඳම අම්මටයි, හොඳම තාත්තටයි ආදරයෙන්........
-නදී-